Friday 4 November 2011

මගේ එලිය නුඹයි ආදර අම්මා....


මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේ
හිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙ
ආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේ
උණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ...

දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේ
දුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේ
කුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේ
නුඹ පමණයි එහි අරුමය දැක්කේ...

ජීවිතේ කියා දී ජීවිතේ දුන්නේ නුඹ මට
යන්නට මේ මග අත්වැල වූයේ නුඹ මට
හඬනා දා ලොවක් හැඬ වූ සෙනෙහෙ නුඹ
යන්නට නුඹට කලින් මට වරයක් දුන මැන.......

Sunday 9 October 2011

හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම.......


සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,
මහමෙරක් මැයි වියලුනු කතරට
දිය පහස සොයා ආ මේ මඟ
නතර වුනා ඔබෙ නෙතු පියන් යට...

මිරිඟු සයුරක නොදුටු දිය බිඳක
සොයා දිය බිඳක් වියලුනු සිතක,
නොවූ නුඹ වියලුනු රලු සයුරක,
ගිම් නිවූ නුඹමයි මේ දිය දහර

ගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යට
හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම
දෑඟිලි බැඳන් අවසරයි හැමදාම
විඳ ගන්න මේ උනුසුම සුසුම් මට......



Tuesday 4 October 2011

මාලතී අහිමි පුන්චි සමනළිය මම.....




බඹරුන් ගෙන ගියා මල් උයන
නොතියාම එක මලක්වත් මට
මාලතී අහිමි පුන්චි සමනළිය මම
ඉකි ගසා බොඳ කලා මල් උයන.....

තලා පෙලා කුමරියන් විගස
රොන් අරන් ගියා උන් හනික
කඳුලු ගෙන නෙත් අගින් සැනින
මල් කුමරියන් හඬුවා බොහොම.....

පුන්චි මල් කුමරියේ තාම
නුඹ ලඟයි මම හැමදාම
යන්න එපා අතැර ආයෙත් දිනෙක
මේ සෙනෙහස නිමියි නුඹ නැති දාක........

Thursday 15 September 2011

නුඹටයි මේ ආරධනා.........


සොඳුරු වස්සානය ඇවිදින්
ඉරි තැලුණු සිත් මලෙට
කරයි නෙතු අගින් ආරධනා...
සුරම්‍ය ආරධනා...

ගෙවුනු කඳුලැලි,
නැඟුනු හසරැලි,
කරයි නුඹ සිතට,
ප්‍රේම ආරධනා..

ගගන පුරා සරන්නට
වාරු දුන් පියාපතට..
ආල හිතක් පුරන්නට,
නුඹටයි මේ ආරධනා.........





Tuesday 16 August 2011

නුඹ යන්න මේ කඳුලු මටම දී.....


සුවහසක් නෙතු මතම ඇඳී
සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී
කප් සුවහසක් කල් ගෙවී පහන් වී
බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී....

හැරයන්න හේතු නුඹ මා හටම දුනී
ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී
නෙතු අගින් තව එක් වරක් සිනා සී,
රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී.....

එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී
මේ හිත තහනම් නුඹට යළි යළී
සිනාසෙන්න එක් වරක් මතක මානයට වී
නුඹ යන්න මේ කඳුලු මටම දී.....




Friday 22 July 2011

සොඳුරුයි මිහිරියේ....


වියපත් වෙලා.....
ආදරෙන් ළඟ උන්නු,
ජීවිතයම වියපත් වෙලා...
ගහ කොළ මල් මේ හැම දෙයක්ම,
වියපත් වෙලා..
අත් අල්ලන් නුඹත් එක්ක දොඩමළු වුනු,
මං මාවත් වියපත් වෙලා...
තාරුණ්්‍ය වියපත් වෙලා...
නුඹ වෙනුවෙන් අහිමි වුන කැදැල්ලත්
වියපත් වෙලා,,,
කාලෙකට පස්සේ නුඹ අවිදින්.....
දන්නවද ආයෙත්
ඉස්සරෝම දවස් වල වගේ
මට ආසයි මේ,
වියපත් මාවත් වල,

හිරිමල් නුඹේ අත් අල්ලන් අවිදින්න...
සත්තමයි
නුඹ ඉස්සර වගේම
සොඳුරුයි මිහිරියේ....



Monday 11 July 2011

අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ...

අතොරක් නැති ජීවිත ප්රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ආයෙමත් ජීවිතේ යදින්න, මං ආයෙමත් සංක්රන්ති කාලයක් ගෙවනවා.

නොඉවසිල්ලකින් ජීවිතේ ගලාගෙන යනකොට ඊට අනුගත වෙලා ජීවිතේ විඳින්න ආයෙමත් මං ලෑස්ති වෙලා, ඒත් මේක විඳීමද විඳවීමද කියන්න නම් තවත් කාලයක් ගත වෙලා යාවී.

හැමදේකින්ම ඔත්පල වෙන දවසට ගෙනියන්න තියා හිත සනසගන්නවත් එකතු කරපු දෙයක් ජීවිතේ නෑ.

දුප්පතෙක් වගේ ඉපදුනාට දුප්පතෙක් වගේ මිය යන්න අපිට අයිතියක් නෑ කියල ඇහුවට කොහොමද වචන වලට පණ දෙන්නේ කියලා නිනව්වක් තවම නෑ.

අහිංසක මිනිස්සුන්ගේ කඳුලට සුසුමට සංවේදී වෙන්න තර්ජනය කරලා උගන්නපු ඔය හිත් කඳුලකට සංවේදී නොවන තරමටම වල් වැදිල කියලා, නොකියා හිටියට අපි හැමොම දන්නවා.

මේ දෙවල් වාචික අදහස් විදිහට එළි දක්වන්න විදිහක් නොවුනට උගන්නවපු දහසක් දෙනාගෙ ඇස් ඒවට උත්තර දේවී.

මනුස්සයෙක්ගෙ මූණ බලලා ආත්මයම කියවන්න හදපු කීප දෙනෙක් එක්ක ගිය මේ ගමන හරිම දුශ්කරයි, නැවතීමක් වුණා කියලා හිත සනස ගන්න හැදුවම විතරයි, ඒත් නිමේශයටවත් ඉඩක් නොතියා ආයෙමත් සුපුරුදු ජීවිතෙත් එක්ක පොර බදන්න වෙලා, අකමැතෙන් නෙමෙයි නොහැකියාව එක්ක තර්ක කරන්න අකමැත්තෙන්,

සෙනෙහසින් ළං වෙලා උන්නු මිනිස්සු නොකියම ජීවිතෙන් පළා යනකොට ජීවිතේට දැනෙන්නෙ පුදුම තනිකමක් , තනිකම මග හරින්න පුලුවන් හොඳම දේ තමයි සිතට දැනෙන දේ ඔහේ ගලායන්න ඉඩ දෙන එක.

අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ...



Friday 8 July 2011

අරුමයද සංක්ශිප්තයද මේ,,,,,


නොලද නුඹ
හිමි කරගන්නට නොවුණි
සිතක් මගේ,
නොවිඳි සෙනෙහසට,
අරුමයක් නොවුණි මගේ...

විඳි සෙනෙහස බෝමැයි,
නුඹෙන්,
දයාබර නුඹ ,
දයාබරයි මහ මෙරක් වගේ
ළහිරු මලෙක සෙනෙහස,
නුඹයි...
ගෙන මා සිත
ගොසින් නුඹ බෝ දුරක්
සොහොයුරු පෙමක අරුමයද
සංක්ශිප්තයද මේ,,,,,

Tuesday 28 June 2011

ජීවිතේ දුර ගිහින් ......


නුඹ ගිහින් මගේ ළඟ දුක තනි කරන්
ජීවිතේ දුර ගිහින් හැරී අතර මගකින්
වරද කොතැනකද නොදනී නුඹ ඒ බව කියන්
හැමදම අපෙ ජීවිත මේ වගේද මට කියන්

මේ ජීවිතේ හැඩ වුනිද හැමදාම කඳුලින්
මල් හීන ලෝකයක් නොවෙද නුඹ ආදරේ ඉතින්
ඉකිබිඳින සිතට නුඹ මගේ සෙනෙහේ ගැන කියන්
ජීවිතේ මායාව නුඹ නොවෙදෝ ආදරේ ඉතින්

හැඟුමන් පොපියන ජීවිතේ චමත්කාරය මැදින්
එකට එකතුව දුර ගමන් ගියා අපි ඉතින්
මේ අවසානයද අපෙ අරඹුමද මට කියන්
කොතැනින් නිමා වේවිද අපෙ ජීවිත මේ ලෙසින්........



විඳිමි නිදහස.....


විලංඟු දමා සිත මගේ
නතු කර ගත් දින
සිට එය ඔබේ කියා
යදම් පවුරු බිඳ
විඳිමි නිදහස.....

ලද ඉඩ හසරක
නුඹත් සමග ගෙවූ
මොහොතක,
හැඳින්නා නිදහස
නුඹ නොවන වග..

නමුදු, නුඹෙන් ලද යදම
අමිලයි නොලද නිදහසට
වඩා දහසක්
මා ප්‍රිය සබඳ....



අවසානම මත්‍රාව......


සිත නිවී පාලුවෙන්
ඉන්නා මොහොතක
නුඹ අවිදින්
මටත් හොරෙන්..

සුපෙම් බස් මැද
රැඟූ රැඟුමන්
අවසාන වීද
ඇරඹුමට පෙරත්

දහසක් තාල මැද
සෙවූ අවසානම
මාත්‍රාව නුඹම
විය ඉතින්...

සොයන්නේ කෙලෙසකද
නුඹට වඩා හොඳ තාලයක්
මා දන්නේ නුඹම පමණක් නම්....



Saturday 25 June 2011

අහිමි......


පින්නෙන් නෑවුණු පිණිදිය මලකට
නුඹ ළඟ උන්නා තනි නොතනියට
දිනකර විත් අපෙ ජීව්ත අතරට
මග තොට මා තනි වූවා පෙර විලසට

සිනා දහසක්ව මල් සහසක්
පීදුනා අපි වෙනුවෙන් අපිට
ජීවන අරුමැසි එක් කර නුඹ මට
පිළිණ වුණා මතකද ළඟ ඉන්නට

අහිමි වුවත් නුඹ මට
සහසක් සැමරුම් ඇත මගෙ තනියට
දෙන්නම් යන්නට අවසර තුටින් නුඹට
..



Saturday 18 June 2011

කියා දියන් මට......


ඇසළ සඳ යට
නිදන තරුකැට
වැව් දියට
ඉඟි කරන හැඩ...

අමාවක අඳුරට
පෙම් කරන හිතට
කියා දියන් මට
ඇසළ සඳ එළිය වග....

අවරට බැඳි සෙනෙහසට
නොහික්මුනු හිතට
කියා දියන් මට
නුඹ අන් සතු වගට...




Sunday 12 June 2011

තිඹිරිගෙය වූ සඳ....


නොදුටු මුත් නුඹව,
ඇත ලෙංගතු කමක් බොහොම......
නොවුණි නම් ඒ අහඹු හමුව....
නොවේ පබදින්නට මේ සිත් අරණ....
හිමි අහිමි වූ දිවිය,
ගෙතූවෙමී පද දහසක් එක් කර,
තිඹිරිගෙය වූ සඳ
බොහොම තුති ඉතින් නුඹට.....



Saturday 11 June 2011

මාලතිය මම.....


කර්කශ පොළවක,
පිපෙන්නට පෙර,
මිලිනව මියැදුනු,
මට.....
පවන් රැළ නුඹ,
විදින්නට තහනම්,
මාලතිය මම.....



Saturday 4 June 2011

වෙයන් නුඹ මට දිරියක්........


ජීවිතේ හරි බරක්
නොදැනුනිද පෙර මේ වගක්
අතැර දමා යන්නට බැඳීම් දහසක්
වෙයන් නුඹ මට දිරියක්........

ගෙවෙන හැම මොහොතක්
විය මට කල්ප කාලාන්තරයක්
හිතන හැම පැතුමක්
වුනිද මන්දා හැම විට කඳුලක්......



ඉගිලෙන්න ආකාසයේ.....


ඉගිලෙන්න ආකාසයේ
සිහින තටු
වාරු නොවූ
තරම්...
දිලි දිලි දැල්වුනු...
සිළු ළඟනවතින්න
සිත පෙළු තරම්..
මිලින
වූ තටු ළඟ
ඉගිලෙන්න නොහැකි සඳ
සිත හැඬු තරම්.....



නුඹ දන්නවනම්......


නුඹ දන්නවනම්,
නුඹ මගේ සිත රිදවන තරම්......
නුඹේ තෙපුල් මා නෙතට,
කඳුළු ගෙනෙන තරම්....
ඒත්,
නුඹ ඉඳීවි,
නොසැලී.......
ඇයි දන්නවද,
නුඹට මා,
ආදරය කරන තරම්
නුඹ දන්නා නිසාවෙන්…….




Monday 23 May 2011

නුඹ, සොඳුරූ........

රිදෙන හද සුවපත් කෙරුමට
නොවෙයි කිසි තැනක ඔසු,
ලද නොනිමි කඳුලු මැද
හැඬූ සිත් අග
එකම ඔසුවයි මා ලද,
නුඹ,
සොඳුරූ........



කුමරුනි නුඹ




බලාපොරොත්තුව
නෙතු අද්දර
කුමරුනි නුඹ
එතැයි කියා...........

හීනෙක දවටා
දෑස වසා ගෙන
පැතුමන් පුරවා
නුඹ එතැයි කියා..........

බලා හිඳිමි
සුවඳක දැවටී
කුමරුනි නුඹ
එතැයි කියා........

මද නලක අමුනා
ගීතයක වෙලා
කුමරුනි නුඹ
එතැයි කියා…….

අම්මා...



නුඹ,
මට බැඳි සෙනෙහස පුබ්බකයන්,
ලද ධනය මෙනි.....
දහස් ගව් දුර ගෙවූ සඳ….
නොවූ කල වෙහෙසක්,
මග කතර නොදැන
ගිය මග නොවූ කල වෙනසක්.....
තනියට ලඟ උන් සෙනෙහස
වියෝ වූ සඳ,
ඉකිලන නෙත් අග
අකුරු අමුනන ආදරනීය කව් පදය
අම්මා...



නුඹ නැති දා කවිකම් මට බෝ දුර.....



හඬන නෙතු අසල ඉඳ
කවි කරපන් නුඹ මගේ සිත
සහසක් පැතුම් මිලිනව
හැකිද ඉන්නට නොවූ විලසට


පෙර දිනක නුඹ මගේ දෑත ගෙන
සක්මන් කල මග තොට අඳින
පෙරුමන් පිරූ කඳුලක් විකසිතව
නෙත් අගින් ගිලිහුනා අසරනව


අත්වාරු ඇත පෙර විලසම
සිත් වාරු නැත අහිමි වූ කල නුඹ
සහසක් කවිකම් කල මගේ සිත
නුඹ නැති දා කවිකම් මට බෝ දුර.....



කඳුලු බිඳු......


ආදරයෙන් එකතු කළ
මතකයන්,
නුඹ...
අමතක කරන සඳ…….
ඉන්නෙ කෙළෙසද
නොසෙලා කඳුලු බිඳු,
මහවැලිය තරම් දිගු.....



නුඹ දන්නවනම්,



නුඹ දන්නවනම්,
නුඹ මගේ සිත රිදවන තරම්......
නුඹේ තෙපුල් මා නෙතට,
කඳුළු ගෙනෙන තරම්....
ඒත්,
නුඹ ඉඳීවි,
නොසැලී.......
ඇයි දන්නවද,
නුඹට මා,
ආදරය කරන තරම්
නුඹ දන්නා නිසාවෙන්…….



Sunday 22 May 2011

අවසරයි......


සරණ මංගල්ය අදයි නුඹ
හා බැඳෙන
යදම් බිඳ දමා,
නිදහසේ සැරි සරන...
බැඳි
පෙම් මල් පුබුදින
අවසරයි නික්මී යන්න
ජීවිතේ වස්සානයට ඉතින්...



පැණයක්


මේ සොඳුරු නුවර වැව ලඟ,
එන ඔබේ සුවඳට ළන්ව...
වැව් රැලි නගන සත්සරයට
ගයන ගී පද රස විඳ
මතකද,
අපි,
ආදර ගීතයට නැවුම් කවි පද......

පුබුදු වසන්තයේ දොරකඩ
වැව් දිය හසරැලි නගන සඳ..
වැව් ඉහත්තාවෙ නුඹ ලඟ
අපෙ අදරයේ ඉමිහිරි සුවඳ
වින්දා මතකද ලොවට හොරෙන්,
මොහොතක.......

හිරු මිලින වී එන සඳ,
වෙනදාටත් වඩා සුන්දරද නුඹ,
කියන් මේ පොපියන නෙතු වලට,
මෙ ආදරයත් යම් දවසක...
අහිමි වේද පිය සබඳ.......



රොබරෝසියා


රොබරෝසියා මලේ නුඹ පෙර සේමයි
වසන්තය විත් අහවරයි
ගිම්හානය දොරින් එබිකම් කරයි
එබැව් මා තනි වී ඇති වගයි..

කාලය පුබුදා නුඹ ගෙනා අරුමයයි
නිදා නොනිදා උන් මට හීනය දුර ඈතයි
සත්මහලම මා පාමුල නුඹ ගගනයි
හැකිද ඉන්නට නොවූ වග මේ බවයි

පුදුමයි හරිම පුදුමයි නුඹ තාම හීනයයි
එකලු කරන්නට ජීවිතය නුඹ රසඳුනයි
දනිමි මම නුඹ අඩන කඳුලු මලයි
දෙන්න අවසර යන්න නුඹගෙන් දුර ඈතයි



හිමි අහිමි ඇරඹුම

කාලයක් තිස්සේ මං පෙරුම් පිරුවා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න.

ඔන්න යන්තම් අද ඒක ඉෂ්ඨ වුනා.

අද ඉඳලා මගේ නිර්මාන ඔබ සමග බෙදා ගන්නයි මගේ අරමුණ.

මගේ බ්ලොග් එකට පැමිණි ඔබ සැමට මගේ ස්තුතිය.